අපගේ දැක්ම

 "කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් උපරිම මහජන සේවයක් සැලසීම."

අපගේ මෙහෙවර

"සම්පත් මනාව  කළමණාකරණය කරමින් මහජන සහභාගීත්වයෙන් කාර්යක්ෂමව සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම සහ සමස්ථ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට දායක වීම."

ඓතිහාසික පසුබිම 

ඈත ඉතිහාසය දෙස විමසිල්ලෙන් සවිඥානිකව එබී  බැලීමේදී අප මනසට හසුවන පරිදි ශ්‍රී ලංකාද්වීපය පරසතුරන්ට බිලිනොවී එක්සත් රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීමට තම ජීවන හුස්ම කිසිදු පැකිලීමකින් තොරව වාතලයට මුසු කළ වීරයින්ගේ ජීවන සුවඳින් සුවඳවත්ව හා ඔවුන්ගේ සියලු ශක්තීන්ගෙන් සුපෝෂිතව පැවති භූමියක් වන ඌවේ ජනප්‍රවාද හා අතීතයෙන් පැවත එන විධිමත් සාක්ෂි මගින් ඌවපරණගම යන නාමය මහත් වූ අභිමානයෙන් හා සාඩම්බරයෙන් අනෙකුත් ප්‍රදේශයන්ගෙන් වියුක්තව ගෙන තවදුරටත් ඔසවා තබයි.

          ශ්‍රී ලංකාද්වීපය පාලනය කළ විවිධ රාජකීයයන් තම ආරක්ෂාව උදෙසා ඉතා සුදුසුම ප්‍රදේශයක් ලෙස හදුනාගත් ඌවපරණගම ප්‍රදේශයේ වත්මනේදී පවා නොනැසී නැගී සිටින විශ්මිත සාක්ෂි අනාගතයටද අභිමානයක් ගෙන දෙනු ඇත.

          අතීත ජනප්‍රවාද වලින් හෙළිවන පරිදි ශ්‍රී ලංකාද්වීපයටම අභිමානයක් එක් කළ මුතුන්මිත්තන්ගෙන් හා ස්වභාවික සෞන්දර්යයෙන් කෙල පැමිණි ඌවේ බිහිවූවා යැයි සැලකෙන  පැරණිතම ගම්මානය  හෙවත් ඌවපරණගම අතීතයේ එතරම් ජනාකීර්ණ නොවූමුත් පැරණි රජවරුන්ගේ හා නියෝජිතයින්ගේ වැදගත් නවාතැන් පලක් හා නිජභූමියක් වූ ප්‍රදේශයක් බව හඳුනාගත හැකිය.

          ඌවපරණගම යන්න ගැන කතා කිරීමේදී ඌව පිළිබඳව කතා නොකර සිටීම කළ නොහැක්කක් නිසාවෙන් ඌවට නම ලැබුනු ආකාරය පිළිබඳව ජනප්‍රවාදයේ එන ජනප්‍රවාද අතරින් දුටුගැමුණු රජ දවස දක්වා දිවෙන ජනප්‍රවාදයක් මෙහිලා සඳහන් කිරීම මැනවැයි කල්පනා කළෙමු. දුටුගැමුණු රජ දරුවන් හෙළ දීපය එළාර රජුගෙන් මුදවා රට එක්සේසත් කිරීමට යුද පෙරමුණට යෑමට ‍පෙර කතරගම දෙවියන් වහන්සේට වූ භාරයකට අනූව දේවාලයේ සිට හූවක දුර ඇසෙන මානය කතරගම දේවාලයට පූජා කළ බව එම ප්‍රදේශය හූව යන්නෙන් හඳුන්වා පසුකාලීනව ඌව වූ බවද වාර්තා වේ.

          භූගෝලීය පිහිටීම මත ගෙතුණු ජනප්‍රවාදයක් වන හක්ගල කපොල්ලෙන් සුළං හැමීමේදී නැගෙන හූ නාදය පසුබිම් කරගෙන පසුකාලීනව ඌව වූ බවද පැරැන්නන්ගේ මත අතර  ඉහලින් තැබිය හැකිය.

          කෙසේ වුවද ඌවට නම ලැබීමෙන් පසුව ඌවපරණගමට එම නාමය ලැබුණු බවද එම නම ලැබෙන්නට පෙර සිට මෙම ප්‍රදේශයේ ගම්මානයක් පැවතියාය යන්නට ජනප්‍රවාද සාක්ෂි සපයන බවද මෙම වාර්තාවෙන් දැන්  ඒ දෙසට මනස විදහා බැලීමක් ලෙස වර්තමානයේද නොනැසී සජීවීව පවතින ස්ත්‍රීපුර කඳු වැටිය පුරා විහිදී ඇති බිම් ගේ සම්බන්ධයෙන් බැදුනු කතාන්දරය දැක්විය හැකිය.

          ඒ මෙසේය, ඈත අතීතයේ ශ්‍රී ලංකාද්වීපයේ ශ්‍රී විභූතිය මුළු ලොවටම පතල කළ අසම සම පාලකයෙකුව සිටි රාවණා රජ්ජුරුවන් වහන්සේ ඉන්දියාවේ සිටි රාම කුමරු සමග යුද වැදීමේ අභිප්‍රායෙන් ඔහුගේ ප්‍රිය බිරිඳ සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබීම සඳහා මෙම කඳු වැටියේ බිම්ගෙය යොදාගත් බව ඌවපරණගම ආසන්නයේ පිහිටා ඇති නුගතලාව, සීතා එළිය උදෙසා බැඳුනු ජනප්‍රවාද ඔස්සේ සීතා කුමරිය මෙම ප්‍රදේශයේ සඟවා තැබූවා යැයි යන්නට ධනාත්මක සාක්ෂි සපයයි. තවද රාවණා ඇල්ල, රාවණා ගුහාව ආදිය මගින් ඌව පළාත රාවණා රජ්ජුරුවන් වහන්සේගේ පාලන කේන්ද්‍රස්ථානයක්ව පැවතියා යැයි යන්නට කදිම නිදසුන් ගෙන හැර පාන්නේය.  ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සමීපයේ ගලා හැලෙන මානාවල ඇල්ලෙන් වසාගත් ස්ත්‍රීපුර බිම්ගේ එක් දොරටුවක් පවතින බව ජනප්‍රවාදයේ පැවත එන අතර මානාවල ඇල්ල දිය සිඳී ගිය කල්හි එම දොරටුව මනාව දිස් වන බවත් එම දොරටුවෙන් අතීතය විනිවිද දකින්නෙකුට බොහෝ ඈත ඉතිහාසයට ඌවපරණගම රැගෙන ගිය හැකි බව මෙහිලා සඳහන් කල හැකිය.

          ඌවපරණගම පුරා විහිදී ගිය බෝ වැටි එනම් යම්කිසි රටාවකට රෝපණය කරන ලද බෝ ගස් පෙළක් වර්තමානයේද දැකිය හැකි අතර ඒ ඔස්සේ අතීතය කරා එළඹෙන්නෙකුට වළගම්බා රජ දවස දක්වා ගොස් වළගම්බා රජ දරුවන් සේනා සංවිධානය සඳහා ඇවිද ගිය මාර්ගය අපහසුවකින් තොරව හඳුනාගත හැකි අතර, ගණේතැන්න ශ්‍රී වළගම්බා විහාරය සේනාව යුද වැදීමට පෙර සොල්දාදුවන්ට හා රජපෙළපතේ සාමාජිකයින්ට පැළඳ වූ තුප්පට්ටිය නමැති නිල ලාංඡනය පැළඳ වූ ස්ථානය තුප්පිටිය ලෙස ව්‍යවහර වී ඇති බවත්, උළුගල රජමහා විහාරය ද රජ දරුවන්ගේ අනුග්‍රහයෙන්  පෝෂණය  වී ඇති බවත්, ඌවපරණගම ප්‍රදේශයේ සෑම බිම් අඟලක්ම ඓතිහාසික පුරාවෘත්ත රාශියකට  හේතුකාරක වී වර්තමානය තුළ නිහඬව අප දෙස බලා සිටින බවත්, මෙම ඓතිහාසික පසුබිම නමැති පුළුල් මාතෘකාව ඔස්සේ කෙටියෙන් ඌව පරණගම පිළිබඳව සඳහන් කිරීමඅසීරු කාර්යයකි.

          පරදේශක්කාරයින්ට මුළු ලොවම ආක්‍රමණය කිරීම කෙතරම් පහසු වූවද, ශ්‍රී ලංකාද්වීපය යටත් කර ගැනීමට කෙතරම් අපහසු වීද යන්න අතීතය පිළිබඳව යාන්තමට තතු දන්නෙකුට වුවද අමුතුවෙන් කියා දිය යුතු නොවන්නේය. එම උතුම් ශ්‍රී ලංකාද්වීපය ආක්‍රමණිකයින්ගේ ග්‍රහණයට හසු නොවන්නට ශ්‍රී ලංකාද්වීපයට ඌව කෙතරම් වැදගත් වීද යන්න වචන‍යෙන් ප්‍රකාශ කළ නොහැකි සේම, ඌවපරණගම නමින් නම් ලද ඌවේ පැරණිතම ගම්මානයේ ඓතිහාසික වැදගත් කම කෙතරම්ද යන්න යාන්තමට හෝ කල්පනා ශක්තිය ඇත්තෙකුට කල්පනා කර තේරුම් ගැනීම උදෙසා, ඉහතදී සඳහන් කරන ලද මහා සමුද්‍රයෙන් ගත් දිය දෝතක් තරම් ස්වල්ප වූ තොරතුරු බිඳ ඉදිරිපත් කර ඇත්තේය. ඒ ඔස්සේ යන්නෙකුට ජීවිත කාලය පුරා නොනවත්වා ග්‍රන්ථාරූඪ කළද අවසන් කළ නොහැකි තරම් වැදගත් ඓතිහාසික තොරතුරු ඌවපරණගමින් රැස් කල හැකි බවද අභිමානනීය සාඩම්බරයෙන් සඳහන් කරමු‍.

ඌවපරණගම සෑම ගමකම පාහේ නම පටබැඳීමට බොහෝ විට ඓතිහාසික වැදගත් කමක් දැකිය හැකි අතර, එම නම් ලැබුණු ආකාරය කෙතරම් සුන්දරද ගෞරවනීයද යන්න පිළිබඳව සොයා යන්නෙකුට මඟ කියනු වස් ඌවපරණගම ප්‍රදේශයේ පවතින බඹරපාන නම් ගම්මානයට නම් ලද ආකාරය පිළිබඳව කියැ‍වෙන එක් ජනප්‍රවාදයක් මෙහිලා ප්‍රකාශ කරන්නේ සියල්ලක්ම මෙහි ප්‍රකාශයට පත් කිරීමට ඇති අපහසුතාවය මත මිස අකමැත්ත නිසා නොවන බව ඔබ කරුණාවෙන් සැළකිය යුතුය. එය එසේ නම් බඹරපාන යනු, ඈත රජ දවස රජ මාළිගාව පිහිටි උස් ස්ථානයකි. රට මැද පිහිටි මෙම රජ මාළිගාවට සතුරු ආක්‍රමණ එල්ල වන විට වෙරළ බඩ සිට විනාඩි කීපයකින් රජ මාළිගාවටත්, රජ   මාළිගා‍වෙන් මුළු ශ්‍රී ලංකාදවීපයටත් එම පණිවිඩය ලබා දීමට ඉතා සරල හා විශ්මිත ක්‍රමෝපායක් භාවිතා කර ඇත. සතුරන් මහා සාගරය තරණය කරමින් පැමිණෙන විට වෙරළ බඩ සිට මහා ගින්නක් දල්වයි. එම ගින්න දල්වන තැන පෙනෙන මානයේ කන්දකට වී එය දකින රාජ පුරුෂයන් තවත් ගින්නක් දල්වයි. මේ ආකාරයෙන් අවසන රජ මාළිගාවට පෙනෙන සේ ගින්න දැල්වූ පසුව රජ මාළිගාවේ සතර දිසාවටම පෙනෙන සේ සතර අතට විහිදී නිරන්තරයෙන් කැරකෙන ලෙස සකසා ඇති විශාල පන්දමක් දල්වයි. මෙම පන්දමෙන් විහිදෙන එළිය ආලෝකයට “පහන” යන නම භාවිතා කළ බවද කැරකෙන හේතුවෙන් “බඹර” යන නම ලද බවද  “බඹර පහන” යන්න“බඹරපාන” නමින් ප්‍රචලිත වී ඇති බවට ජනප්‍රවාද සාක්ෂි සපයයි. මෙවැනි සූක්ෂමව කල්පනා කල මුතුන් මිත්තන්ගේ පහස ලබා ඔවුන්ගේ අභිමානයද රැගෙන ඌවපරණගම පැවත එන්නේය

          ඌවපරණගම ප්‍රදේශය ඉතාමත් මනරම්  වූත්, නිස්කලංක වූත්, මහා සංඝරත්නයට වැඩ වාසය කරමින් බණ භාවනා කිරීමට නිවහල් වූ ප්‍රදේශයක් ව පැවති බවටත්, බෞද්ධ දර්ශනයට වඩාත් ලැදිව පැවති බවටත්, මහා සඟරුවනින් සුපෝෂිතව පැවති බවටත්, සාක්ෂි සපයමින් මහා සංඝරත්නය ස්නානය කල ස්ථානය “සඟුන් නෑව” , “හඟුන්නාව” ලෙස වත්මනේදී පත්ව ඇති බව කියවේ.         

ඌවපරණගම ප්‍රදේශයේ පාලනයේ පහසුව සඳහා වර්තමානයේ වසම් 68කට බෙදා වෙන්කර ඇති අතර එම වසම් 68 තුළ සංඛ්‍යාත්මකව ගණනය කිරීමට දුෂ්කර තරම් ගම්මාන රාශියක් පවතින බවද, එම ගම්මාන සියල්ලටම පාහේ මෙවන් ඓතිහාසික වැදගත් කමක් පවතින බව ප්‍රකාශ කළහොත් එය යම් කෙනෙකුට ඌවපරණගම අතීතය අතිශයෝක්තියෙන් දැක්වීමට දරණ උත්සහයක් යැයි අවඥාවෙන් බැහැර කිරීමට හැකිමුත්, සත්‍ය නම් ඌවපරණගම සෑම ගම්මානයකම මෙම ඓතිහාසික වටිනාකම අඩු වැඩි වශයෙන් ගැබ්ව ඇති බවයි.

          ඌවපරණගම ඓතිහාසික පසුබිම පිළිබඳව මේ සපයන්නා වූ තොරතුරු අහඹු ලෙස තෝරා ගෙන ඉදිරිපත් කරන අතර ,ඉමක් කොනක් නොපෙනෙන තරම් වූ ප්‍රෞඩ ඉතිහාසයකට දිව යන ඌවපරණගම ඓතිහාසික වටිනාකම කිසිවිටෙකත් සම්පූර්ණයෙන් ලියා හෝ කියා නිම කළ නොහැකි බව තේරුම් යන නිසාවෙන් ඉතා සුන්දර වූ අභිමානනීය වූ ඌවපරණගම අතීතයේ සුවඳ ආග්‍රහණය කිරීමට  ඔබට පියමන් කරන්නට ආරාධනා කරමු.  

 

සේවය කල ප්‍රාදේශීය ලේකම්වරු

ප්‍රාදේශීය ‌‌ලේකම්වරයාගේ නම සිට දක්වා
ජී.එල්.සිරිවර්ධන මයා 1992 1994
ජී.එස්.ඒ.ද සිල්වා මයා 1994 1995
සේන ජයසූරිය මයා ( වැ.බ. ) 1995  
ඩබ්.ඒ.ජයවික්‍රම මයා 1995 2000
බී.ජී.එම්.එම්.සුගතපාල මයා 2000 2003
සමන් ශ්‍රී රත්නායක මයා 2003  
එම්.ජී.එන්.එම්.වික්‍රමසිංහ මයා 2003 2008
ඊ.එම්.එස්.බී.ජයසුන්දර මයා 2008  
නිහාල් ගුරණරත්න මයා 2009 2013
ජේ.එම්.සී.අයි.ජයසිංහ මයා 2013 2018
එම්.එම්.කේ.පුෂ්පකාන්ති මිය 2018 මේ දක්වා

පුවත් සහ සිදුවීම්

11
සැප්2025
නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය  - 2025

නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය - 2025

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ ඌවපරණගම ප්‍රාදේශීය...

28
අගෝ2025
ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ජාතිත ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ඌව පළාත්...

Scroll To Top